මධුෂ් එන සතියේ ලංකාවට ගේනවා.. මෛත‍්‍රී-ගෝඨා ඝාතන කුමන්ත‍්‍රණයට ඔහු සම්බන්ධයි - නීතීපති අධිකරණයේදී කියයි

ඩුබායි පොලිසියේ අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ඉදිරි සතිය තුලදී ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දන්වා තිබේ.

තොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී මේ බව කියා සිටියේ නීතීපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතායි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඔහු විසින් මේ බව කියා සිටියේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මාකදුරේ මධුෂ්ගේ සම්බන්ධයක් ඇතැයි හෙලිව ඇති බවත් ඔහු මෙරටට ගෙන්වූ වහා ඒ ගැන ප‍්‍රශ්න කර අධිකරණයට කරුණු වාර්තා කරන බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට තව දුරටත් පැවසීය.