සාකච්ඡා අතරෙත් ගැටුම් පිට ගැටුම් : මෙදා ජී.එල්. 'ඇණයක්' වෙලා !

මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පසුගියදා මාධ්‍යය හමුවකදී සිදුකළ ප්‍රකාශ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවලට අතිශයින් බාධාකාරී බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. තිස්සමාහාරාම රජමහා විහාරයේ ඊයේ (11) පැවති අළුත් සහල් මංගල්‍යයට එක්විමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) සභාපති  ජී.එල්.  පීරිස් මහතා කරතිබූ ඇතම් ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින්  මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයා ගෙන් එහිදී විමසා සිටියේ, පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තුන් වන දිනයටත් පෙරේදා පැවති සාකච්ජා අසාර්ථක ද කියාය.

ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, ඉදිරියටත් සාකච්ඡා පැවැත්වෙන බැවින් එවැනි අසාර්ථකත්වයක් නොමැති බවයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට පුළුල් පෙරමුණක් ලෙස සන්ධාන ගත වීම සඳහා ශ්‍රිලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තවදුරටත් සාකච්ඡා කරන බව පැවසු මන්ත්‍රීවරයා, මේ අවස්ථාවේදී තම පක්ෂය ඉතා ඉවසීමෙන් යුතුව ඉදිරියට යන බවත් එකතු වුවහොත් ජයග්‍රහණය කරන බවත්, නැතිනම් පරාජය විය හැකි බවත් කියා සිටියේය.

ජනාධිපතිවරණය හෝ පැවැත් වීමට නියමිත ඕනෑම මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් මෙම සාකච්ඡා පැවැත් වෙන බවත්, පෙරමුණක් ලෙස ඉදිරියට යෑමට තවදුරටත් බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අපට ඕන අපේ ජනාධිපතිවරයෙක් - දුමින්ද කියයි 

මේ අතර අනුරාධපුරයේ පැවති උත්සවයක් අමතමින් ශ්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව යෝජිත පුළුල් සන්ධානය නිර්මාණය කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය සෑම විටම ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

පොහොට්ටුවේ අය කියන විදියට පොහොට්ටුවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යට කර දැමීමට කිසිවෙකු සුදානම් නොමැති බව ද දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයා හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සමඟ අතීතයේ අමාරු අවස්ථාවේ සිටි කිසිවෙක් අමතක නොකරන බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන පක්ෂයක් සමඟ සන්ධාන ගත වුවත් ඔවුන් සමඟ එකතුව තම අනන්‍යතාවය රැක ගනිමින් වැඩ කරනවා මිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යට කිරීමට ඉඩ නොදෙන බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

ජී.එල්.පීරිස් මහතා පෙරේදා දිනයේ දී ජනාධිපතිවරයාගේ ධූර කාලය නැවත වතාවක් වසර 5ක් ද නැතිනම් පහ මාරක් ද යන වග අධිකරණයෙන් විමසන්නේ නම් එයට ඉතා පැහැදිලි ලෙස විරුද්ධ වන බව පැවසු බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ලෙස සැමදා අවශ්‍ය වන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් බව ද දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
gossip lanka