දුම්රිය, බස් වර්ජනය අද රෑට - ගමේ යන්න බාධා?

දුම්රිය මෙහෙයුම් අධීක්‍ෂණ සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට බලධාරීන්ට උනන්දුවක් නොමැති බැවින් අද (09දා) දින මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක වැඩවර්ජනය ස්ථිරවම සිදුකරන බව දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් ඒකාබද්ධ සන්ධානයේ සමකැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.

මෙම වැඩ වර්ජනය සිදුකරන බවට පසුගිය සතියේදී බලධාරීන් දැනුවත් කළ බවත්, එහෙත් ගැටලුව පිළිබඳ සාකච්ඡාවක් ලබාදීමට හෝ ඊයේ (08දා) දිනයේදී බලධාරීන් කටයුතු නොකළ බවත් හෙතෙම පවසා සිටියේය.

වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කමිටුවක් පත්කළ බවත්, එම කමිටුවේ නිර්දේශ මත වැටුප් විෂමතා ඉවත් කිරීමට පසුගිය වසරේ පෙබරවාරි 16 වැනිදා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් පවා අනුමත කළ බවත් සම කැඳවුම්කරු සඳහන් කළේය.

එහෙත් අදාළ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බවද ඔහු පැවසීය.

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ද අද මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24ක සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

එම සංගමයේ සංවිධායක යු.කේ.කුමාරරත්න මහතා සඳහන් කළේ රජය විසින් හඳුන්වා දී ඇති නව දඩ මුදල්වලට විරෝධය පල කරමින් මෙම වර්ජනය සිදුකරන බවයි.

මේ දිනවල අවුරුදු නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිසක් සිය ගම්බිම් බලා පිටත්වීම නිසා මෙම වර්ජන ඔවුන්ට දැඩිව බලපානු ඇති බව සඳහන් වේ.