යුද හමුදාපතිට දුරකතන ඇමතුම් ලබා දුන්නා - ඇමති රිෂාඩ් පිළිගනියි

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකු සම්බන්ධයෙන් තොරතුරු විමසීමට තමන් යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායකට දුරකතන ඇමතුම් ලබා දුන් බවට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසනවා. කෙසේ වෙතත් කිසිවෙකු නිදහස් කිරීම සඳහා තමා ඉල්ලීමක් නොකළ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

කාටුවාපිටිය ප්‍රහාරයෙන් මිය ගිය අයගේ අවසන් කටයුතු සිදුවූ දා ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කළ ඉල්ලීමක් අනුව තමා යුධ හමුදාපතිවරයා ඇමතූ බවත් ඔහු සඳහන් කළා.එහිදී ඔහු පැවසුවේ..

‘‘..මම එක දවසක් ඔහුට කතා කළා. මීගමුව ගමේ මිනිස්සු මට කතා කරලා කීවා හෙට සුසාන කටයුතු සිදුකරන නිසා පල්ලි වලට ආරක්ෂාව දෙන්න කියලා. ඒ වෙලාවේ එතුමාට කතා කරලා මිනිස්සු ආරක්ෂාව ඉල්ලනවා කියලා මම කිව්වා.එච්චරයි මම එතුමට කතා කරේ. කාවවත් නිදහස් කරන්න කියලා මම කවදාවත් කතා කරලා නෑ‘‘ යනුවෙනි.

කෙසේ වෙතත් පාස්කු ඉරිදා බෝම්බ  ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියෙන් පසු යුද හමුදාව දෙහිවල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමාගෙන් අවස්ථා දෙකකදී කරුණු විමසා උදව්වක් ඉල්ලු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ  (16) කොළඹ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා තමන්ගෙන්  ඉල්ලා සිටියේ උදව්වක් නමුත් කිසිවකුට එය  බලපෑමක් ලෙස අර්ථකතනය කළ හැකි බවද  එහිදී හමුදාපතිවරයා සඳහන් කළේය.

එහිදී මාධ්‍යවේදීන් ඇසු ප‍්‍රශ්න හා ඊට යුද හමුදාපතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය - රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා සැකකරුවකු නිදහස් කරන ලෙසට ඔබට බලපෑම් කළ බවක් එක්තරා පුවත්පතක සඳහන් වුණා. එහි සත්‍යතාවයක්  තිබේ ද?

පිළිතුර - ඇමැතිවරයා මට දුරකතනයෙන් කතා කළා. කිසියම් පුද්ගලයකුගේ නමක් කිව්වා. ඒ පුද්ගලයාගේ සම්බන්ධතා ගැනත් කිව්වා. මට කුමක් කළ හැකිදැයි මගෙන් ඇහැව්වා.

ප‍්‍රශ්නය - සැකකරු නිදහස් කරන ලෙසට ඔබට බලපෑම් කළාද?

පිළිතුර -  මුල් දුරකතන ඇමතුමේ දී මම කිව්වා හොයලා බලන්නම් කියලා.

දෙවන දුරකතන ඇමැතුම දෙන විටත් මට හොයලා බලන්න වෙලාවක් තිබුණේ නැහැ. තුන්වෙනි දුරකතන ඇමැතුමේ දී මම කිව්වා මට තව අවුරුදු එක හමාරකින් කතා කරන්න එතකොට මම උත්තරයක් දෙන්නම් කියලා.

ප‍්‍රශ්නය - ඇමැතිවරයා කිව්වේ කුමන සැකකරු ගැන ද?

පිළිතුර - මොහොමඩ් වගේ නම් ගොඩක් තිබ්බානේ. මට හරියට මතක නැහැ. ඔයාට  ඕනේනම් මම පස්සේ නම හොයලා දෙන්නම්. හැබැයි මට එකක් මතකයි. දෙහිවලින් අත්අඩංගුවට ගත්ත සැකකරුවෙක් කියලා. මට තියන බලතල අනුව එවැනි සැකකරුවෙක් අවුරුදු එකහමාරක්  තියාගන්න පුළුවන්.