gossip lanka

මහනාහිමිවරුන් හා අගරදගුරුතුමන්ට දේශපාලන කෑදැත්තන් කියා ඇමති චම්පික අපහාස කරලා !

පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පසුගිය මැයි 31 දා මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ලංකාවට විදේශීය හමුදාවන් ගේන්න එපා කියා ඉල්ලීමක් කළා.
පෙරේදා පා ච රණවක ඇමතිතුමා ප්‍රකාශයක් කරමින් විදේශ හමුදාවන් ලංකාවට ගේනවා කියා බොරු බියක් ඇති කරන්න දේශපාලන කෑදැත්තන් උත්සාහ කරනවා කියා චෝදනා කළා.  රණවක ඇමතිතුමා දේශපාලන කෑදැත්තන් කියා අපහාස කරන්නේ මහනායක ස්වාමින් වහන්සේලාට සහ කාදිනල්තුමාට නොවේ ද?  කෑදැත්තා කියන්නේ හොට වක්‍රව තිබෙන කුරුල්ලෙක්.  දේශපාලන කෑදැත්තා කියන්නේ වක්‍රව දේශපාලනය කරන අයටයි.  මේ ඇමතිතුමා කියන්නේ මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා වක්‍රව දේශපාලනය කරන බව නේද?

මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා බොරු බියක් මවන්නේ නෑ.  උන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ සහතික ඇත්ත.  2007 දී අත්සන් කළ Acquisitions and Cross Servicing Agreement නැතිනම් ඇක්සා ගිවිසුම පිටු 7යි.  නමුත් 2017 දී අත්සන් කළ ගිවිසුමේ පිටු 54යි.  මේ ගිවිසුමට ඇතුළත් කළ අළුත් කරුණු මොනවාද?  ඒ ගිවිසුම ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඇයි?  ඒ වගේම මැයි 15 සිට 17 දක්වා ඇමෙරිකාවේ  ගත කළ තිලක් මාරපන ඇමතිතුමා එහි දී සාකච්ඡා කළ Status of Forces Agreement හෙවත් සෝෆා ගිවිසුම ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඇයි?  ඇමෙරිකානු හමුදාවන්ට නිල ඇඳුම් ඇඳගෙන අවි දරාගෙන ලංකාවේ ඕනෑම තැනක ඇවිදින්න පුළුවන් වන බවත් ඔවුන් මොන අපරාධයක් කළත් තානාපති මුක්තිය හිමි වන බවටත් වගන්ති ඒ ගිවිසුමේ අඩංගු බව මාධ්‍ය වාරතා කළා.  ඒක බොරු නම් ඇත්ත කෙටුම්පත රටට ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඇයි?

අවුරුදු පහකට බලයට එන ආණ්ඩු වලට අවුරුදු 10ක් 35ක් හෝ 99ක් රට ගැට ගැසෙන ගිවිසුම් අත්සන් කරන්න බැරි වන ආකාරයෙන් අපේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි කියා අපි යෝජනා කරනවා.

මංගලගේ ආමිස පූජාවන්ට යතිවරයන් යට වෙන්නේ නෑ

ජාතියේ පවට උපන් කට හීලෑ නැති ඇමති මංගල අපූරු ප්‍රකාශයක් කළා.  ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් 378කට රුපියල මිලියන 208ක් ලබා දී තිබිය දී මට පන්සල් වලට ඇතුළුවීම තහනම් කලේ ඇයි කියලා එතුමා ප්‍රශ්න කරනවා.  මංගල ඇමතිතුමනි, බුදු දහම රැක ගන්නවා කියන්නේ හාමුදුරුවන්ට සල්ලි දීලා සාක්කුවේ දාගන්න හදන එක නොවේ.  කහ සිවුර කවදාවත් ආමිස පූජාවන්ට යට වුණේ නෑ.  හාමුදුරුවරුන් ආමිස පූජාවන්ට යට වුණා නම් උඩරට රාජධානිය අල්ලා ගන්න සුද්දන්ට 1815 වන තුරු ඉන්න වෙන්නේ නෑ.  මේ කහ රෙදි පොරවා ගත් හමුදාව සිටිනා තුරා අපට ලංකාව යටත් කර ගන්න බෑ කියා සුද්දා ලියන්නෙත් නෑ.

වසර 2,300ක් අඛණ්ඩව බෞද්ධයින් බහුතරයක් ජීවත් වුණු ලොව එකම රට ලංකාවයි.  ලෝකයේ වෙනත් කිසිම රටක් එතරම් දිගු කලක් එකම ආගමක් සමග පැවතිලා නෑ. අපේ රටේ ඉන්න සහහෝදර ආගම්වල නායකයන් එය ඉතාම නිහතමානීව පිළිගන්නවා. නව ලිබරල්වාදී මංගල සමරවීර අමාත්‍යවරයා ඇතුලු අතලොස්සක් පමණයි ඒ තිත්ත ඇත්ත පිළිගන්න  අකමැති වෙලා තියෙන්නේ. මේ රට බෞද්ධ රටක් නොවේ කියා ඇමති මංගල කියනවා නම් එයාව පන්සල් වලට වැද්ද ගන්න කිසිම භික්ෂුන් වහන්සේ නමකට බෑ.  ආමිස පූජාවන්ට යට වන භික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් හෙලි කරන්න කියලා අපි මංගල ඇමතිතුමාට අභියෝග කරනවා.

– අරවින්ද අතුකෝරල
gossip lanka