gossip lanka

ෆයිල්, වීඩියෝ, හඬපට වලට අපි බය නෑ. 1926 ඉඳන් අපි මේක කරන්නෙ ! - GMOA

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැමුන්ට අදාළ පින්තූර තමන් ළඟ ඇති බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ලිපිගොනුවක් පෙන්වමින් පැවසුවත් තම සංගමය යනු ෆයිල් හෝ වීඩියෝ හෝ හඬපට පෙන්වා බිය වැද්දිය හැකි සංගමයක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.


"අපි ඊයේ දිනයේදී දැක්කා උන්වහන්සේ ෆයිල් එකක් තියාගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනතුරු හඟවනවා. අපි කියනවා උන්වහන්සෙට වැරදුණා කියලා උන්වහන්සෙ පිළිගන්නවානෙ.

කියලා තියෙනවා 'රාජිත මගේ හොඳ හිතවතෙකු වුණත් ඔහුගේ දේශපාලනයට මම එකඟ නෑ'. අපි ස්තූතිවන්ත වෙනවා උන්වහන්සෙට ඒ නිවැරදි කිරීම සම්බන්ධයෙන්, මොකද උන්වහන්සෙ කියලා තියනවා 'මට පොඩි පටළැවිල්ලක් වුණා' කියලා. එහෙම පටළා ගන්න නරකයි. ඒනිසා අපි හිතනවා නැවත වතාවක් උන්වහන්සෙට වරදින එකක් නෑ.

ඒ වගෙම අපි උන්වහන්සෙට කියනවා අපට මීට කලිනුත් ෆයිල් පෙන්නලා තියෙනවා ගොඩක් අය. 1926 ඉඳලා මේ සංගමය කරන්නෙ. ෆයිල් වලට, වීඩියෝ තියෙනවා කියන ඒවට, එහෙමත් නැත්නම් හඬපට තියෙනවා කියන ඒවට බයේ නෙවෙයි මේ සංගමය කරන්නෙ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒවට බය වෙන සංගමයක් නෙවෙයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදීය.

පෙරේදා (02) පැවති මාධ්‍ය හමුවකදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් එම සංගමයට අනතුරු හඟවා සිටියේ තමන් ළඟ ඇතැමුන්ගේ පිංතූර ඇති බවත් ඒවා එළියට පැමිණියහොත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හතර ගාතෙන්ම වැටෙනු ඇති බවත් පවසමිනි.
gossip lanka