gossip lanka

පාලකයන්ට අනුශාසනා කිරීම භික්ෂූන්ගේ කාර්යභාරයයි... මහා මැතිවරණයට භික්ෂූන්ට නාම යෝජනා දෙන්න එපා - අස්ගිරි පාර්ශ්වය

මැතිවරණවලට තරඟ කිරීම පිණිස භික්ෂූන් වහන්සේලාට නාම යෝජනා ලබාදිය නොහැකි ලෙස මැතිවරණ පනතට සංශෝධන ගෙනා ආ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පැවසූහ. මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය ඊයේ (3) අස්ගිරි මහ විහාරයට ගොස් මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසූහ.


පවතින මැතිවරණ නීතිය පැරණි එකක් බැවින් ඊට සංශෝධන ගෙන එමින් අදාළ කටයුත්ත කඩනිමින් කළ යුතුව තිබෙන බවද උන්වහන්සේ කීහ. භික්ෂූන් වහන්සේ ඍජුව දේශපාලනයට යොමු වීමෙන් ශාසනය පිරිහීමට ලක්වන බවද අස්ගිරි මහනාහිමියෝ කීහ.

අතීතයේ මෙන්ම පාලකයන්ට දැහැමිව රට පාලනය කිරීම පිණිස අවවාද අනුශාසනා කිරීම මහ සංඝරත්නයේ කාර්යභාරය බවත් ඉන් ඔබ්බට ගොස් මහ සංඝරත්නය ඍජුව දේශපාලනය කිරීමට යෑමෙන් විශාල පිරිහීමක් ශාසනය තුළ ඇති වූ බවත් උන්වහන්සේ පැවසූහ.

මෙහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේද මෙම අදහසම ප්‍රකාශ කෙළේ යැයි පැවසුවේය. මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබෙන අවස්ථාවක අපේක්ෂකයින්ට මහනාහිමිවරු බැහැ දැකීමට පැමිණිය හැකි වුවත් විහාරස්ථාන භූමියේ මාධ්‍යයට ප්‍රකාශ ලබාදීමට නොහැකි බවත් එය කළ හැක්කේ පන්සල් භූමියෙන් පිටත් බවත් මහින්ද දේශප්‍රිය කීය.
gossip lanka